Sunday, July 22, 2012

කලාවැවෙන් ගත් දිය දෝතක් සේ

සබඳකම් සදාකල්හිම සුන්දරය. සබඳකමක් ආදරය නැමති ලතාවෙන් වෙළි එක් වූ කල එය කොයි තරම් සුන්දර වේද.
භාෂිත ආදරය බොහෝ සේ ප්‍රකට කරන්නෝ පෙම්වතාමය., ස්වාමි පුරුෂයාමය. තම ප්‍රියාව ගැන සිතේ ඇති ආදරය ගැන ලියුවො කියුවෝ ඔව්න්මය. ආදර ගමන් මඟ තුල විවිධ හැඟුම් මැද තම සිත තුල මැයෙන සිතුවිලි ගැන ලියුවෝ බොහෝය. එනමුදු සැබැවින්ම චමත්කාරයෙන් පිරි ආදරය ඇත්තේ ස්ත්‍රිය ළඟය.. එය අපූර්ව වන්නකි.
එය විටෙක සිහිනයක් සේ සොඳරුය. විටෙක ගලා යන ගඟක් සේය. තවත් විටෙක සැලෙන සුළඟක් සේය. එනමුදු හැම විටම ඇගේ ආදරය ඇගේම වෙයි. තම ආදරණීයයා තමන් කෙරේ ආදරය කොතෙක් කරන්නේද ඒ හා සමානව ඇගේ සිත් හි ඔහු පිළිබඳ හැඟුම් ඇය පෙළයි. ඇයට ඔහු තරම් සැනසීමක් ලොව නැත. ඔහුගේ වදන් ඇගේ සවන තුල රැව් දේ. ඔහුගේ රුව නෙතු ඉදිරියේ මැවී යයි. ඔහු හා ගත කරන නිමේෂය කොයි තුරම් සුන්දරද. ඇට ඔහු තමන් තුල සිර කර ගැනුමට සිතෙයි.
බොහෝ කවීන් විසින් කියන ලද ආදරය කරන කාන්තාව තුල පිබිදෙන ආත්මාර්ථය මෙයම නොවේද. සැබැවින්ම තම ආදරණීයයා කෙරේ ඇති අතිමහත් ආදරය නිසාවෙන්ම ඇති වන මේ ආත්මාර්ථය සුන්දර නොවේද?
තමනට ආදරය කරන තමා ගැන සිතන ආදරණීයයකු හා ආදරයෙන් බැඳි යුවතියකට තම පුරුෂයා ගැන ආදරයෙන් බැඳි බිරිඳකට හැඟෙන හැඟුම් කෙසේ වේද? තමනට මේ තරම් ආදරය කරන ඔහුගේ ආදරය තරම් පිවිතුරු දැයක් ලොව කොයි දෙසින් දැකිය හැකි වේද ඇයට. කෙලෙසින් විඳිය හැකි වේද ඇයට. ඇයව ජීවත් කරවන්නේ මේ සොඳරු ආදරයම නොවේද?
මෙවන් පෙරවදනක් ලියන්නට මා පෙළඹූයේ මේ සොඳරු ගීතය තුල කැටිවූ ඒ අසීමිත චමත්කාරයයි. එයට හානි නොකර ලියන්නට සිත පෙළු නිසයි.
කලාවැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මට මැ වටීය බෝධියකින් වට බෝ කොළයක් සේ අගී අගී ඔබ මට මැ අගී
කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි
සමනල සිරසින් විහිසුණු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි
ජලය මිනිසාව ජීවත් කරවන සාධකයයි. කලාවැව යනු නුවරකලාවියට පමණක් අයිති ලකුණක් නොවේ. එය මුළුමහත් දිවයිනටම බත සලසන කෙත් පෝෂණය කරන එදිනෙදා බත සරි කරන සශ්‍රීකත්වයේ සංකේතයයි. ඉන් ගත් දිය දෝතක් යනු ප්‍රවේශමින් යොදා ගත් අපූර්වතම යෙදුමකි. නුඹ මට වටින තරම් මේ යැයි කියන්නට නොහැකි වන කල දිය දෝතක් පමණයැයි කීම මෙතරම් අපූර්ව වන්නේ ඉන් ස්ත්‍රියගේ සිත් හි ඇති මටසිළුටු බවත් ඇය ලබන ආදරයේ ඇති පිවිතුරු බවත් කියාපාන බැවිනි. නැවත නැවත කියැවෙන වටී වටී යන වදනත් මටම වටී යන වදක් ඇගේ සිත තුල තම සිත් ගත් පුරුෂයා කෙරේ ඇති ආදරය සේම ඔහු තමන්ගේම බැව් තමන්හාම කියා පායි. බෝධියකින් බිමට බට බෝ කොළයක් කොයි තරම් ගාම්භීරද. එය කොතරම් අගනේද ඇගේ පුරුෂයා ඇයට කොයි තරම් වටනේද යන්න මොනවට පසක් කරයි.
ඔබ තරම් වටනා වස්තුවක් මට තවත් තිබේද? කිසිවකුට හොරු ඔබ මා කෙරේ තබා ගනිමි මන්ද ඔබ මාළඟ සිටින තුරු මාගේ ජීවිතයේ පදරුත් පසිඳය හැකි නිසාවෙන්! ඇය කියයි කැටපත් පවුරේ කවි ඕනෑ තරම් ඇති මුත් ඉන් කවක් සොරකම් කර ළඟ තබා ගත හැකි නම් එසේ මා ඔබගේ ආදරය හදවත තුල සඟවා ගන්නම් කියා ලියැව ඇති පෙළෙහි අවසන එය සඟවා තනිවක පදරුත් සොයන බැව්.
ඔබගේ ජීවිතය ඔබගේ ඇසුර ඔබගේ ආදරය තරම් මා හද බැතියෙන් පෙළන අන් දැයක් වේද? ඔබගේ ඇසුරින් ඔබගේ ආදරයෙන් මා ලබන සැනසුම තරම් සැනසුමක් කෙසේ නම් ලබන්නද ? ඉඩ දෙන්න මට ඔබ ඇසුරේම දිවි ගෙමන්නට ජීවිතයම ඔබගේ සිතුවිලි වලින් පුරවාලමින්. පරිණත වූ ආදරය සිත් තුල බැතියක් ඇති කරයි. ඇගේ ආදරය කෙතරම්ද? ඒ තරමට සිත පුරා ඔහුගේ පහසින් සැනහී යයි.. පුහුදුන් සිතකය මීට වඩා පරමානන්දයක් තිබේද ඇයට සිතෙයි !
සබසකි ස්ත්‍රියකගේ සොඳරු ආදරයේ ගැඹුරුතම තැන මේ යැයි අපට ගීයත පසක් කර දෙයි