Sunday, July 22, 2012

කලාවැවෙන් ගත් දිය දෝතක් සේ

සබඳකම් සදාකල්හිම සුන්දරය. සබඳකමක් ආදරය නැමති ලතාවෙන් වෙළි එක් වූ කල එය කොයි තරම් සුන්දර වේද.
භාෂිත ආදරය බොහෝ සේ ප්‍රකට කරන්නෝ පෙම්වතාමය., ස්වාමි පුරුෂයාමය. තම ප්‍රියාව ගැන සිතේ ඇති ආදරය ගැන ලියුවො කියුවෝ ඔව්න්මය. ආදර ගමන් මඟ තුල විවිධ හැඟුම් මැද තම සිත තුල මැයෙන සිතුවිලි ගැන ලියුවෝ බොහෝය. එනමුදු සැබැවින්ම චමත්කාරයෙන් පිරි ආදරය ඇත්තේ ස්ත්‍රිය ළඟය.. එය අපූර්ව වන්නකි.
එය විටෙක සිහිනයක් සේ සොඳරුය. විටෙක ගලා යන ගඟක් සේය. තවත් විටෙක සැලෙන සුළඟක් සේය. එනමුදු හැම විටම ඇගේ ආදරය ඇගේම වෙයි. තම ආදරණීයයා තමන් කෙරේ ආදරය කොතෙක් කරන්නේද ඒ හා සමානව ඇගේ සිත් හි ඔහු පිළිබඳ හැඟුම් ඇය පෙළයි. ඇයට ඔහු තරම් සැනසීමක් ලොව නැත. ඔහුගේ වදන් ඇගේ සවන තුල රැව් දේ. ඔහුගේ රුව නෙතු ඉදිරියේ මැවී යයි. ඔහු හා ගත කරන නිමේෂය කොයි තුරම් සුන්දරද. ඇට ඔහු තමන් තුල සිර කර ගැනුමට සිතෙයි.
බොහෝ කවීන් විසින් කියන ලද ආදරය කරන කාන්තාව තුල පිබිදෙන ආත්මාර්ථය මෙයම නොවේද. සැබැවින්ම තම ආදරණීයයා කෙරේ ඇති අතිමහත් ආදරය නිසාවෙන්ම ඇති වන මේ ආත්මාර්ථය සුන්දර නොවේද?
තමනට ආදරය කරන තමා ගැන සිතන ආදරණීයයකු හා ආදරයෙන් බැඳි යුවතියකට තම පුරුෂයා ගැන ආදරයෙන් බැඳි බිරිඳකට හැඟෙන හැඟුම් කෙසේ වේද? තමනට මේ තරම් ආදරය කරන ඔහුගේ ආදරය තරම් පිවිතුරු දැයක් ලොව කොයි දෙසින් දැකිය හැකි වේද ඇයට. කෙලෙසින් විඳිය හැකි වේද ඇයට. ඇයව ජීවත් කරවන්නේ මේ සොඳරු ආදරයම නොවේද?
මෙවන් පෙරවදනක් ලියන්නට මා පෙළඹූයේ මේ සොඳරු ගීතය තුල කැටිවූ ඒ අසීමිත චමත්කාරයයි. එයට හානි නොකර ලියන්නට සිත පෙළු නිසයි.
කලාවැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මට මැ වටීය බෝධියකින් වට බෝ කොළයක් සේ අගී අගී ඔබ මට මැ අගී
කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි
සමනල සිරසින් විහිසුණු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි
ජලය මිනිසාව ජීවත් කරවන සාධකයයි. කලාවැව යනු නුවරකලාවියට පමණක් අයිති ලකුණක් නොවේ. එය මුළුමහත් දිවයිනටම බත සලසන කෙත් පෝෂණය කරන එදිනෙදා බත සරි කරන සශ්‍රීකත්වයේ සංකේතයයි. ඉන් ගත් දිය දෝතක් යනු ප්‍රවේශමින් යොදා ගත් අපූර්වතම යෙදුමකි. නුඹ මට වටින තරම් මේ යැයි කියන්නට නොහැකි වන කල දිය දෝතක් පමණයැයි කීම මෙතරම් අපූර්ව වන්නේ ඉන් ස්ත්‍රියගේ සිත් හි ඇති මටසිළුටු බවත් ඇය ලබන ආදරයේ ඇති පිවිතුරු බවත් කියාපාන බැවිනි. නැවත නැවත කියැවෙන වටී වටී යන වදනත් මටම වටී යන වදක් ඇගේ සිත තුල තම සිත් ගත් පුරුෂයා කෙරේ ඇති ආදරය සේම ඔහු තමන්ගේම බැව් තමන්හාම කියා පායි. බෝධියකින් බිමට බට බෝ කොළයක් කොයි තරම් ගාම්භීරද. එය කොතරම් අගනේද ඇගේ පුරුෂයා ඇයට කොයි තරම් වටනේද යන්න මොනවට පසක් කරයි.
ඔබ තරම් වටනා වස්තුවක් මට තවත් තිබේද? කිසිවකුට හොරු ඔබ මා කෙරේ තබා ගනිමි මන්ද ඔබ මාළඟ සිටින තුරු මාගේ ජීවිතයේ පදරුත් පසිඳය හැකි නිසාවෙන්! ඇය කියයි කැටපත් පවුරේ කවි ඕනෑ තරම් ඇති මුත් ඉන් කවක් සොරකම් කර ළඟ තබා ගත හැකි නම් එසේ මා ඔබගේ ආදරය හදවත තුල සඟවා ගන්නම් කියා ලියැව ඇති පෙළෙහි අවසන එය සඟවා තනිවක පදරුත් සොයන බැව්.
ඔබගේ ජීවිතය ඔබගේ ඇසුර ඔබගේ ආදරය තරම් මා හද බැතියෙන් පෙළන අන් දැයක් වේද? ඔබගේ ඇසුරින් ඔබගේ ආදරයෙන් මා ලබන සැනසුම තරම් සැනසුමක් කෙසේ නම් ලබන්නද ? ඉඩ දෙන්න මට ඔබ ඇසුරේම දිවි ගෙමන්නට ජීවිතයම ඔබගේ සිතුවිලි වලින් පුරවාලමින්. පරිණත වූ ආදරය සිත් තුල බැතියක් ඇති කරයි. ඇගේ ආදරය කෙතරම්ද? ඒ තරමට සිත පුරා ඔහුගේ පහසින් සැනහී යයි.. පුහුදුන් සිතකය මීට වඩා පරමානන්දයක් තිබේද ඇයට සිතෙයි !
සබසකි ස්ත්‍රියකගේ සොඳරු ආදරයේ ගැඹුරුතම තැන මේ යැයි අපට ගීයත පසක් කර දෙයි


Sunday, April 17, 2011

සරුංගලේ වරල් සැලේ


සරුංගලේ වරල් සැලේ

නිසංසලේ ගුවන් තලේ

අපෙන් මිදී වෙන රටකද යන්න හදන්නේ

උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ


සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි

සරුංගලේ ලාටු උලා රැළි කෙරුවේ අපේ ළමයි

සරුංගලේ කොල අලවා හැඩ කෙරුවේ අපේ ළමයි

සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි


සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි

සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි

සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි

සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි


මට මේ ගීතය ඇහෙන හැම මොහොතකම හිතට විස්තර කල නොහැකි දුකක් දැනෙනවා! බොහෝ වෙලාවට ජීවිත ගමනේ ආ මග තුල යමක් අපට දායාද කර දුන් බොහෝ දෙනා සිහිපත් කරන්නක්. හැබෑවටම බට පතුරක් අහසට නංවා නිදහසේ පා කර අරින්නට වන වෙර විරිය කොයි තරම් වේද ඒ තරමට ම සරුංගලය ...අහසේ පියාසරන විට එය තැනුවන් තුල ඇති වන පහන් සංවේගය කවියා මෙතනදී නොකීවත් සිහිපත් වන්නක්. සදහටම රට හැර යාම කොතරම් සංවේගයක් ඇති කරන්නේ දැයි මෙය බලන විට දැනෙන්නක්.

මේ හැම දෙයක් ම අමතක කලත් මට නම් මේ හැමටම වඩා සිහි වන්නේ පුංච් මා නිදහසේ සරුංගලයක් තනා අපහසුවෙන් ගුවන් ගත කර නූල ගිලිහී සරුංගලය ඈතට පාවී ගිය සොඳුරු අතීතයක්. හිතට කිව නොහැකි දුක නම් ඒ අපූරු සරල සුන්දරත්වය නැවත විඳිය නොහැකි බැව් සිහිවීමමැයි!!!


මේ අපූරු ගීතය අහන්න මෙතනින්

http://www.youtube.com/watch?v=2T1u6jUnyZQ

යොවුන් වසන්තයේ


යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...

රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී

සිඟිති ආදර දූපතක තනිවී...

ගංඟාවක් සේ - ගලා බසිනු මැන

නිරන්තරේ සිනා සිසී...

හසරැලි ගවසා තුරු මුදුනේ

කල්පනා තෝතැන්නේ...

තරු අහුරක් සේ - රෑ ඇවිළෙනු මැන...

අහස් ගඟේ දියඹ දිගේ...


බොහොමයක් දෙනා හිතන දෙයක් තමයි නන්දා මාලිනී වැනි ප්‍රබුද්ධ ගායක ගායිකාවන්ගේ ගීත රස විඳින්නන් සරල වචන වලින් සැදි ගීත වලට විරුද්ධ බැව් හා සරල පද වලට ගරහන බැව්. මේ අපූර්ව ගීතය සරල පද එකතුවක සැබෑ අරුත, මිහිර, සොඳුරු බැව් පහදා දෙනවා/ කියවා යන්න ගී පද පෙළම එක පෙළට දැනේවි ඔබට සොඳුරුතම යෞවනයේ අපමණ සැහැල්ලුවකින් ලොවම ඔබ හා සිනාසෙන බැව්.

ඒ නමුදු මේ ගීතයේ සරල සුන්දර පදපෙළ තුල මිහිරියාව ජනිත කිරීම රැක ගැන්ම පමණක් නොව පෙළින් පෙළ එය තීවර කරනුවස් පද රචකයා තුල තිබූ සියුම් හැකියාව හා සංයමය අගය කිරීමට මා සතු වදන් පමණ නොවේ!!!

ගීතයක ප්‍රාණය හැඳිනීම හා එහි ශ්‍රාවකයා ජීවත් කරවීම තනු රචකයාගේ කාර්‍යයයි. ඉදින්,ජීවිතයේ මිහිරිතම සොඳුරු බව හිතට ගෙන එන්නට, වෙසෙසින්ම ගීතය අසා ඒ ලොව තනි වන්නට මේ තනුව තුල ඇති සියුම් සුමට බව, ගීතයට ගැල‍පෙන සේ ප්‍රාණ වායුව පිඹින නන්දා මාලිනියගේ ගායනය තුල ඇති වෙනත් මානයන්වෙත අප කැඳවා යන්නට අපමණ සහයක් ලබා දෙන බැව් මගේ හැඟුමයි!!!


මෙතනින් අහන්න http://www.youtube.com/watch?v=7gUBU6dOPzQ

දෙවියන් විසින්

සිංහල ගීතයත් රචනාවත් අපේ අක්මුල් වල කිඳා බැහැගෙන තියෙන නිසාමයි ගීතයක් සංවේදී ව විඳින්නට අපි හැම දෙනාටම හැකි වෙලා ඇත්තේ කියලයි මම හිතන්නේ.

මේ පුංච් අදහස හැමෝම එක්ක බෙදා ගන්න හිතුවේ මෙතරම් අපූරුවට ලියන සිංහල සංවාද කරුවන් අපි හැමෝම එක මුලකින් බිහි වුන අංකුර කියල මට හිතුන නිසා.

හරිම අපූරු ගීතයක්, තම පෙම්වතිය වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් කෙතරම් ගීත රචනා වුවත් තම හිත් ගත් පුරුෂයා වෙනුවෙන් රචනා වුනු අතලොස්සක් ගීත අතරින් ඉදිරියෙන්ම ඇති ගීතය මේ යයි කියලා මම හිතනවා. පද රචනය හෙමින්සැරේ කියවලා නැවත ගීතය අහන්න එතකොට හිතෙනවා මොන තරම් සොඳුරු විදිහට උපමා යොදා ගෙන තියනවද ඇත්තටම මේ තරම් වරුණක්!!!

සමීර

දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්

ප්රියයානනේ ඔබ සුරකිම් බැතින්

ප්රියයානනේ


කලලේ උපන් කොඳ මල් කැලේ

පොබයා සිසිල් පින්නෙන් දෙවූ

තරිඳුන් ඔබයි ප්රියයානනේ


රණ බිම් වැදී සතුරන් දිනා

වියොවුල් නැසූ විජිතේ මගේ

නිරිඳුන් ඔබයි ප්රියයානනේ


මේ ගීතය අහන්න
http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0170114C01

Tuesday, November 30, 2010

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ

තුන් යම ගත වූ ජීවිතයේ
අරුණ නැගෙනා පබාතයේ
අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ

දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ
කවියක් ලෙස ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදිකලා

මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි
පෙරයම නින්දේ දුටු සීනේ
එහෙත් සිහිනයක් වේ දෝ එය යළි
ජීවිතයේ අන්තිම යාමේ

රචනය : ධර්මසිරි ගමගේ
ගායනය : ඩබ්.ඞී.අමරදේව
සංගීතය : ඩබ්.ඞී.අමරදේව


අනවරතව ගලායන ජීවිතයේ අහඹු ඉසිඹුවක දුටු ඇය මගේ හදවත සොරා ගත්තීය. මුළු මහත් දිවියම බලා සිටි සිහින නෙලුම් මල දුටිමි මා, නොදනිමි එය සැබැවින් මවෙතදැයි කියා!සැබෑවක් ද මේ!

මට දැනෙන විදිහට මේ ගීතය දිවියේ අග සිටින්නකුගේ අපූර්ව සිතුම් පෙලක දිග හැරුමක්..., ස්ත්‍රියක් පෙම්වතියක් ගැන නොහැඟවුවත් සමහරවිටක දිගු වියෝගයක අවසන මේ යැයි කියා පෑමක් දෝයි හැඟේ.

පුහුදුන් මිනිසාගේ මුළු දිවියම සිහින පෙළකි. ඉදින් මේ දිවියේ අවසන් යාමයේ දී හෝ මිනිසා තුල නැගෙන විසිතුරු පැතුම් සිතුම් සනහන්නට හැකි වේද?

තනුවත් ගැයුමෙන් අපට ළං කරන හැඟුම් පෙලත් මෙවැන්නක් කියා පාන බැවි මාගේ හැඟුමයි!

මේ ගීතය මෙතනින් අහන්න
http://www.youtube.com/watch?v=SaVb1cC0pLU

Thursday, June 3, 2010

වලා අතුල සිරි යහනේ

වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
මල් සුගන්ධයෙන් නැලවෙන
ලතා මඩුල්ලෙ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...
නොදරුවකු අතින් බොඳ වුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රැහැනකින් දස අත රටා වියනවා...

කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැ‍ටුනු පිනි කැට
රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...

වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
මල් සුගන්දයෙන් නැලවෙන
ලතා මඩුල්ලෙ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...